උතුරට තවත් සිංහලයන් එපා – විග්නේෂ්වරන්

පසුගිය 25 වනදා පැවති උතුරු පළාත් සභාවේ ආරම්භක සැසිවාරයේදී මහ ඇමති විග්නේශ්වරම් මහතා විසින් සිංහල ජනතාව උතුරේ පදිංචි නොකළ යුතුයයි කල ප‍්‍රකාශය හෙලා දකින බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පවසයි.

එහි සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටී.
එහි මෙසේද දැක්වේ.

පසුගිය 25 වනදා පැවති උතුරු පළාත් සභාවේ ආරම්භක සැසිවාරයේදී විග්නේශ්වරම් මහඇමතිවරයා ජාතික සමගියට සහ ජාතික ආරක්‍ෂාවට හානිකර ප‍්‍රකාශ ගණනාවක් සිදුකොට ඇත. ඒ අතුරින් සිංහල ජනතාව උතුරේ පදිංචි නොකළ යුතුය යන ප‍්‍රකාශය බරපතල ජාතිවාදී ප‍්‍රකාශයක් ලෙස අපි හෙළා දකිමු. ඒ මගින් ඔහු පසුගිය කාලයේදී කොළඹ නගරයට සංක‍්‍රමණය වී පදිංචිවී සිටින දෙමළ ජනතාවද බරපතල ලෙස අපහසුතාවයට පත්කොට ඇත. විග්නේශ්වරම් මහතා මෙන් ජාතිවාදී මනසකින් යුතුව සිට් සිංහල නායකයෙකු දෙමළ ජනතාවට උතුර හැර රටේ අනෙකුත් ප‍්‍රදේශවල පදිංචි වීමට ඉඩ දෙන්නේ නැතැයි ප‍්‍රකාශ කළහොත් ඇතිවන තත්වයට විග්නේශ්වරම් මහතා සම්පූර්ණයෙන්ම වගකිව යුතු වනු ඇත.

කොළඹ නගරයේ පදිංචිවී අධ්‍යාපනය ලබා අධිකරණ සේවයේ ඉහලම තනතුරක් හොබවමින් වරප‍්‍රසාද ලත් ජීවිතයක් ගෙවූ එතුමා අද කථාකරන ආකාරය මගින් ඔහුගේ ජාතිවාදී අභ්‍යන්තර මතය ප‍්‍රකාශයට පත්වන බව පැහැදිලිව පෙනේ. එක් පැත්තකින් දෙමළ ජනතාවට පමණක් සුවිශේෂී වූ අයිතිවාසිකම් ගැන  කොන්දේසි විරහිතව සටන් කරන එතුමා අනෙක් පැත්තෙන් සියළු ජන කොටස් වල මූලික අයිතියක් වන තමන් කැමති ප‍්‍රදේශයක ජීවත් වීමට එරෙහිව තහන්චි පැනවීම එතුමාට තරම් නොවන කුහක ප‍්‍රකාශයක් බවද කිව යුතුය.

කෙසේ වෙතත් පොලිස් – ඉඩම් බලය ලබා ගැනීම සහ උතුරෙන් හමුදාව ඉවත් කිරිම වැනි ඔහුගේ අනෙකුත් ඉල්ලීම් සමග ගත් විට සිංහලයා උතුරින් පලවා හැරීමේ කොන්දේසිය නව ඊළාම් සැළසුමේ අත්‍යවශ්‍ය අංගයක් බව අපි රජයට අනතුරු අගවා සිටිමු.

Source : http://lankacnews.com/sinhala/main-news/103549/

Leave a Reply